වේදනා අවම ආදරය

bitter truth of love

අන්ධකාරය නම් ගංගාවෙහි ගිලී, අවට තිබූ ශබ්ධයන්ද එම අන්ධකාරය නම් ගංගාවෙහි දිය වී, ඔරලෝසුවේ කොට කටුව දොළහ ඉලක්කමද පසුකර, මධ්‍යම රාත්‍රිය උදාවී තිබුණි. දවස පුරාම ටයි පටියක් ගෙල සිරකර ගෙන අනුන් පොහොසත් කිරීමට වෙහෙස විඳ, හෙටත් එසේ කිරීමට බලාපොරොත්තුවෙන්, සියළු දෙසින් නලා හඬ ඇසෙන මදුරු රාජධානියක, වටේට විට්ටම නොගැසූ මිනී පෙට්ටියක – ඇඳේ -, බෝඩිම් කාමරයේ සිවිලිමේ ඇති තරු ගණන් කරන්නට මෙන් උඩුබැලිව, නොඉවසිල්ලෙන් මා බලා සිටී. දුරකථනය පපුව මත තබාගෙන, ඇස් වැසෙන්නට නොදී ආදරය නමැති කෝටු කැබලි වලින් මුක්කු ගසා, මා ඇය කතා කරන තුරු බලා සිටින්නේ, ගං වතුරට ගසාගෙන යන්නෙකු එල්ලෙන්නට යමක් දකින තුරු නොඉවසිල්ලෙන් සිටින්නාක් මෙනි. සුනාමියක් වැනි කොළඹ ජිවිතයේ තිබූ එකම උස් බිම ඇයයි. ජීවිතය නම් කටුක චණ්ඩ මාරුතයේ ගසා ගෙන යනවිට, මගේ මුවින් පිටවන වේදනාව ඇසීමට, වායුගෝලයේ ඇති ඔක්සිජන් මෙන් මා වටකර සිටියේද ඇයයි. නමුත් දැන් දැන් මා අවට ඇති ඔක්සිජන් ප්‍රමාණය කෙමෙන් අඩු වෙමින් යයි. හේතුව නම්, උදෑසන තුනද පසුවී ඇතත්, ඇය තවමත් කතා නොකළ බැවින් මා දැවෙමින් සිටීමයි.

දැවෙන ලී ගොඩකට වතුර දැම්මාක් මෙන් පැමිණි ශබ්ධය, දුම් කෝච්චියක ශබ්ධය මෙන් විශාල වීමට ගතවුයේ ක්‍ෂණයකි. ශබ්ධය පැමිණෙන්නේ, ‘උදෑසන පහ’ වී ඇති බව දැනුම්දීමට දුරකතනයෙන් බවද, රැකියාවට පිටත්වීමට ඇහැරිය යුතු බවද, නමුත් ශරීරයට ඇහැරීමට සිතක් නොමැති බවද මට වැටහුණි. පෙට්‍රල් ගැසිය යුතු රථයක් පෙට්‍රල් ඉවර වූ පසු ධාවනයට නම් නැවත පෙට්‍රල් ගැසිය යුතු වූවාක් මෙන්, ඇය කතා නොකිරීමෙන් මාගේ කයද ධාවනය වීමට පසුබට වන බව මට හැඟුනි. හදවත නමැති කේක් ගෙඩිය නැවත උදෑසනද පෝරණුව තුල රත් වෙමින් තිබේ. පෝරණුව දැල්වෙන්නේ සැකය සහ බලාපොරොත්තු සුන්වීම නිසා ඇතිවූ කේන්තිය යන දැවයන්ගෙනි. ඇය කතා නොකිරීමට සාධාරණ හේතුවක් තිබිය හැකි වූවත්, ඇය නැවත කතා කල විට ඇයගේ හදවත ඇති පොරණුවටත් ගිනි තැබීමට මම කුරිරු තීරණයක් ගත්තෙමි.

සිහින ආදරය, පළමු දැක්මෙන්ම හදවත චුම්භනය වී ගලවා ගත නොහෙන ලෙස ආරම්භ වෙයි. කුරුල්ලන්ට ගැයීමට ගීතයක් නොමැතිව ගොළු වුවත්, ආදරවන්තයින් කිසි දිනෙක ගොළු නොවෙති. ඔක්සිජන් නොමැතිව ජිවත් විය නොහැකි වූවත්, ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ ඔක්සිජන් නොව, එකිනෙකාව දෑස් වලින් ආශ්වාස කිරීමටයි. ඉරෙහි උණුසුම නැති වූවත්, ඔවුන්ට අවශ්‍ය ඉරෙහි උණුසුම නොව, එකිනෙකාගේ උණුසුමයි. සමනලයෙකුට ඉගිලීමට තටු දෙකක් තිබිය යුතුවාක් මෙන්, ආදරවන්තයින් ඉගිලෙන්නේ දෙඅත් පටලවාගෙනය. ආදරවන්තයින් නින්දට යන්නේ දෑස් පියාගැනීමෙන් නොව, අනෙකාගෙන් ඇසෙන වදන් වලින් මත්වීය. ඔවුන්ගේ පළමු හාදුව දුම් සහිත හුස්මකට වඩා ඇබ්බැහි කරවන සුළුය. මුහුදු වෙරළේ ගසක් අද්දර, සිනමාහලක හෝ නවාතැන්පලක තනිවී, අනෙකාව සැත්කම් කිරීමට ඔවුන්ට වෛද්‍ය උපාදියක් අවශ්‍ය නොවේ. මකුළුවන්ට බිය වුවද සර්පයන්ට බිය නොවන ආදරවන්තිය, දෙදෙනා තනි වූ විට රඟන්නේ, ඉපදී සුළු මොහොතක් පමණක් වූ බිළිදෙකුගේ චරිතයයි. ඔවුන් දෙදෙනා ජිවත් වන්නේ මිහිතලයේ නොව, අහස් මාලිගාවකය.

යතාර්ථවාදී ආදරය, පළමු බැල්මෙන්ම සිත රාග ජලයේ ගිල්වා, බේරා ගැනීමට අයැදීමෙන් ආරම්භ වෙයි. ගී ගයන කුරුල්ලෙකුගේ හඬ නැවතුන කල සැකයක් හටගන්නා හෙයින්, ආදරවන්තයින්ද ආශා කරන්නේ එකිනෙකාගේ ගීතයන් නිතර ඇසීමටය. රාග ජලයේ ගිලී සුව විඳින සිතට ඔක්සිජන් වන්නේ අනෙකාගේ රූපය දැකීමයි. සිත ගිලී සිටින රාග ජලයේ රාගය අඩු නොවී පැවතීමට අවශ්‍ය වන්නේ, අනෙකාගේ ස්පර්ශයයි. රාගයෙන් මත්වී සිටින විට, නොවැටී ගමන් කිරීමට උදවු වන්නේ දෙඅත් පටලවා ගැනීමයි. ආදරවන්තයින් නින්දට යන්නේ දෑස් පියාගැනීමෙන් නොව, රාග ස්වරයේ හඬ උච්ච වීමෙන් සිදුවන බිහිරි වීමෙනි. වාහනයක් පැදවීමට අවශ්‍ය බලපත්‍රය මෙන්, පළමු හාදුවද බලපත්‍රයකි. මුහුදු වෙරළේ ගසක් අද්දර, සිනමාහලක හෝ නවාතැන්පලක තනිවී සිදුකරන සැත්කම, දීර්ඝ ගමනක ආරම්භය මෙන්ම අවසානයද විය හැකිය. වෙනදාට අපතේ යාම් ගැන සැලකිල්ලක් නැති ආදරවන්තයා, දෙදෙනා තනිවූ විට, පළමු පරාක්‍රමබාහු රජුට දෙවෙනි නැත. ඔවුන් දෙදෙනා ජිවත් වන්නේ, මකරා යනු සැබෑ සතෙකු යැයි සිතන මනංකල්පිත ලෝකයකයි.

be free

සැබෑ ආදරය, ආදරවන්තයාගේ රාගයද, ආදරවන්තිය ඉල්ලන අවධානයද, සතුටු කල යුතුය. දෙදෙනාම බිත්තරය සොලව සොලවා සිට පලක් නැත; කටුව බිඳ මදය එලියට ගෙන, තමාව අනෙකාට විවර කල යුතුය. දිව දෙකේ සර්පයන් මෙන් වී ආදරය කල හැකි වුවද, සැබෑ ආදරය නම්, තමාව නිරුවත් කොට අනෙකාට පෙන්වීමයි. එසේ නොකර සිටීමෙන්, කෙදිනක හෝ අනෙකා තමාව නිරුවත් කල දිනට, කෝච්චියකට අතරමඟ තිරිංග යෙදීමට හේතුවක් සෑදෙනු ඇත. සැකයෙහි ආරම්භය නිරුවත් කයට අඳින ඇඳුම් වර්ග මාරු කරන දිනයයි. සැබෑ ආදරවන්තයින්ට එකිනෙකා සමඟ සිටින විට නිරුවත වසා ගැනීමට ඇඳුම් අවශ්‍ය නැත. අනෙකාගේ කැත නිරුවත භාර ගැනීම නම් එම අප සොයන සැබෑ ආදරයයි. සැබෑ ආදරය නමැති රාජ්‍යයේ සිර මැදිරි නැත. තමාගේ සිතැඟි මෙන්ම අනෙකාටද සිතැඟි ඇතිබව වටහා ගත යුතුය. මාල ගිරවෙකු කූඩු කර ආදරය කල හැකි වුවද, මාල ගිරවාගේ ආදරය ලබා ගැනීමට නම් කූඩුව හැර දැමිය යුතුය. ඉගිලෙන දිශාව මාල ගිරවා සතු තීරණයකි. සැබෑ ආදරය, මා තේරුම් ගැනීමට අපොහොසත් වූ දෙයයි. ඇයද තේරුම් ගැනීමට අපොහොසත් වූ දෙයයි. අප බොහෝ දෙනා තේරුම් ගැනීමට අපොහොසත් වන දෙයයි.

සිහින ආදරයෙන් පටන් ගැනුන මාගේ ආදරයද, අනෙක් බොහෝ දෙනාගේ ආදර කථාවන් මෙන්, නිරුවත් සිරුර වසා ගැන්මට ඇඳි වෛවර්ණ ඇඳුමින් කෙලවර විය. ඉතිරි වූයේ තේරුම් ගත් ස්වභාවධර්මයේ යථාර්ථයයි. පෙති සියල්ල ඇති මලක් කෙරෙහි ඇතිවන ඇල්ම, මුලා කරවන සුළු, සිහින ආදරයයි. පෙති සියල්ල ගිලිහුණු මලකට ඇලුම් කිරීම අනුවණ කමයි. පෙති ඇති මලේ නිදහස සීමා නොකර, රැකගනිමින්, නිරුවතින් ඉඳ එය ආශ්වාදය කිරීම, සැබෑ ආදරයයි, වේදනා අවම ආදරයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )